අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ වරදට වසර දෙකක සිර දඬුවමකට සහ රුපියල් ලක්ෂයක දඩයකට යටත් වූ රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 26 වැනි දින දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (12) නියෝග කළේය.
මෙම නඩුව අද (12) දින කැඳවූ අවස්ථාවේදී, විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇපෑල අද දින විභාගයට ගැනෙන බැවින්, ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එදිනට ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවට අදාළ කාර්ය සටහන් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විත්ති පාර්ශ්වයට නියෝග කරමින් නඩුව මෙලෙස කල් තැබීය.
අදාළ චෝදනාවට වරදකාරිය වීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2022 මැයි මස 27 වන දින ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ ලක්ෂයක දඩයක් (එය නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවමක්) නියම කර තිබූ අතර, එම තීන්දුව පසුගිය 2026 ජුනි මස 11 වැනි දින මහාධිකරණය විසින් ද ස්ථිර කරනු ලැබීය.

