ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැති දෙවන ආසියානු ප්‍රවීණයන්ගේ පිහිණුම් ශූරතා තරගාවලියට සහභාගී වී විශිෂ්ඨ දස්කම් දක්වමින් පදක්කම් 52ක් දිනාගත් ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
ආසියානු කලාපීය රටවල් 09ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය ඔක්තෝබර් 03 සිට 11 දක්වා මෙම තරගාවලිය පැවැත්විණි. එහිදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 25ක් දිනා ගැනීමට සමත් වීම මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක් වූ සුවිශේෂී ජයග්‍රහණයකි. මීට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ 67 හැවිරිදි වියේ පසුවන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ජෙහාන් පීරිස් මහතා රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීම විශේෂ අවධානයට ලක් විය.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම 12.20ට බැංගලෝර් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 172 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුලේ සාමාජිකයන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

