කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමකින් හිමිකරු මරුට, බිරිඳ රෝහලේ

0
23

කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (09) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් එම අවන්හලේ හිමිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කළේය. සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවය.

මියගිය පුද්ගලයා 54 හැවිරිදි අයකු වන අතර, තුවාල ලැබූ ඔහුගේ බිරිඳ 52 හැවිරිදි වියේ පසුවන්නකි. දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමි යුවළ දොඩංගොඩ ධනුක නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මුදල් එකතු කිරීමේ කටයුතුවල නිරතවී ඇති බවත්, එහිදී සිදුවූ මූල්‍ය වංචාවකට පළිගැනීමක් ලෙස දොඩංගොඩ ධනුක සහ කළුතර නවීන් නමැත්තන් විසින් මෙම ඝාතනය සංවිධානය කර ඇති බවට මූලික තොරතුරු වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ කළුතර දකුණ මූලස්ථාන පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here