ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන මිල සහ සැපයුම පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්.

0
6

මෙම මාසය අවසාන වන තෙක් ඉන්ධන මිල ගණන් වෙනස් නොකර පවත්වාගෙන යාමට හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කරයි. අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඉදිරි මාස තුන තුළ අනපේක්ෂිත බලපෑමක් සිදු නොවන්නේ නම්, වත්මන් ඉන්ධන මිල මෙන්ම සැපයුම ද අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවයි.

අනෙකුත් ඉන්ධන සමාගම් විසින් වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීම නිසා ප්‍රදේශ කිහිපයක තාවකාලික හිඟයක් මතු විය හැකි බව සභාපතිවරයා පැවසීය. මෙලෙස අවදානමක් සහිත ප්‍රදේශ 62ක් සති තුනකට පෙර හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් සැපයීමට අදාළ සමාගම් සමඟ එකඟතාවකට පැමිණ තිබේ. එබැවින් රට තුළ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නොගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, යම් හෙයකින් වෙනත් සමාගම්වල පිරවුම්හල්වල පෝලිම් පවතී නම් ආසන්නතම ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල භාවිත කරන ලෙස ද දැනුම් දෙයි.

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සංචිත පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත්, සෑම සතියකම අඟහරුවාදා දිනවලදී තොග සමාලෝචනය කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම, මෙම මාසයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර ඉන්ධන ගෙන්වීමට පියවර ගෙන ඇති අතර, තවත් ඉන්ධන නැව් දෙකක් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට ද කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here