ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පනවා තිබූ සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද (05) නියෝගයක් නිකුත් කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මීට පෙර විවෘත වරෙන්තු ලබා සිටි උන්වහන්සේව, බන්ධනාගාර නිලධාරීන් විසින් අද දිනයේ අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇත.
එහිදී ඉදිරිපත් වූ කරුණු හා නීතිමය තත්ත්වයන් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ට නියම කර තිබූ සිරදඬුවමේ ඉතිරි කාලය වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කර තිබේ.
අභියාචනාධිකරණ නියෝගයෙන් අනතුරුව, අද (05) පස්වරුවේ උන්වහන්සේට සිරකරුවන් සඳහා නියමිත සම්මත ජම්පරය ලබා දී චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කර ඇත. තවද, උන්වහන්සේ විශේෂ පහසුකම් යටතේ නොව සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කර තිබේ.

