සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී සිටින බවට වාර්තා වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහුගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුව තිබේ.
ඒ, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීය.
එම අවස්ථාවට සිවරාසා අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාසා, මව රාසමානික්‍යම් යෝගලක්ෂ්මි, සහෝදරයා වූ සිවරාසා හම්සිදන් ද ඊට එක්ව තිබේ.
ඔවුන් සමග සිදු කළ සාකච්ඡාව අතරතුර සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දුරකථනයෙන් කතා කර සිවරාසා අනෝජන්ගේ නිදහස සම්බන්ධයෙන් සොයා බැලීමට ද විපක්ෂ නායකවරයා එහිදී කටයුතු කර තිබිණ.
ඊට අමතරව සෞදි බන්ධනාගාරයේ සිටින සිවරාසා අනෝජන් හට දුරකථනයෙන් කතා කර ඔහුගේ විස්තර සොයා බලා අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියට ද දුරකථනයෙන් කතා කර නිදහස ලබා ගැනීමට අදාළ රජයේ වැඩපිළිවෙළ ද සොයා බැලීමට කටයුතු කර ඇත.
විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජාති ආගම් භේදයෙන් තොරව අනෝජන්ගේ නිදහස වෙනුවෙන් කළ හැකි උපරිම දේ සිදු කරන බවයි.

