ගෝලීය දැනුමෙන් පිරි නායකත්වයෙන් යුතු අනාගත පරපුරක් බිහි කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යතුමිය පවසයි

0
9

ගෝලීය දැනුමෙන් සන්නද්ධ, ආත්ම ශක්තියෙන් පරිපූර්ණ මෙන්ම සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීම රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ සැප්තැම්බර් 14 වනදා පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා පැමිණි මඩකළපුව එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස අග්‍රාමාත්‍යතුමිය හමුවූ අවස්ථාවේදීය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව මෙම අධ්‍යාපනික සංචාරය සංවිධානය කර තිබිණි. මෙම සංචාරයේදී සිසුන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නැරඹූ අතර, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳව ද ඔවුන් වෙත දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

මීට අමතරව, ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එමඟින් පාසල් දරුවන් උදෙසා සැලසෙන සේවාවන් පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් සිසුන්ට පැහැදිලි කර දෙන ලදී. පරිසර ආරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස විද්‍යාලය වෙත වටිනා ශාක පැළ ලබාදීම ද මෙහිදී සිදු විය. මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එරාවූර් රහ්මානියා මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here