ඉරාන පරමාණු බලශක්ති ප්‍රධානියාට IAEA සමුළුවට එන්න අමෙරිකාවෙන් බාධා

0
14

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පනවා ඇති සංචාරක තහනමක් හේතුවෙන්, ඉරාන පරමාණු බලශක්ති සංවිධානයේ ප්‍රධානී මොහොමඩ් එස්ලාමිට ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) වාර්ෂික මහ සමුළුවට සහභාගි වීමට නොහැකි වී තිබේ. අමෙරිකාව එල්ල කළ බලපෑම් මත ඔස්ට්‍රියානු රජය විසින් ඉරාන නියෝජිත පිරිසේ වීසා බලපත්‍ර අවලංගු කිරීම මීට ආසන්නතම හේතුවයි.

ඉරානයේ න්‍යෂ්ටික හා බැලස්ටික් මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ බවට චෝදනා කරමින් 2015 වසරට පෙර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් එස්ලාමිට එරෙහිව මෙම සංචාරක තහනම පනවා තිබුණි. 2021 වසරේ සිට සෑම වසරකම IAEA සමුළුවට සහභාගි වූ එස්ලාමිට මෙවර ඇතුළුවීමට අවසර දෙන ලෙස ඔස්ට්‍රියාව ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළද, ඊට අමෙරිකාව විරෝධය පළ කර ඇත.

ඉරානය IAEA කටයුතු සිය ප්‍රචාරණ වේදිකාවක් ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව අමෙරිකානු තානාපති ප්‍රෙස්ටන් වෙල්ස් ග්‍රිෆිත් සඳහන් කර සිටියි. කෙසේ වෙතත්, මුලින් අනුමත කළ වීසා පසුව ප්‍රතික්ෂේප කිරීම සාමාජික රටක් ලෙස ඉරානයට හිමි අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමක් බවට IAEA හි ඉරාන තානාපති රෙසා නජාෆි සහ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මේල් බගායි චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here