ඉදිරි අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයට පෙර තැපැල් ඡන්ද භාවිතය සීමා කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් උත්සාහයට එරෙහිව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා. BBC පුවත් සේවයට අනුව, තැපැල් ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් නව නීති සහ අවශ්‍යතා හඳුන්වාදීමට අමෙරිකානු තැපැල් සේවයට (USPS) ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවූ ෆෙඩරල් විනිසුරුවරයෙකුගේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස තහවුරු කර ඇත. කෙසේ වෙතත්, මෙය මෙම නඩුව සම්බන්ධයෙන් ලැබුණු අවසන් තීන්දුව නොවන බවත්, ඉදිරියේදී නඩුව විභාග වන අතරතුර ට්‍රම්ප්ගේ පාර්ශ්වයට පක්ෂව තීන්දුවක් ලැබීමේ ඉඩකඩ පවතින බවත් කොන්සර්වේටිව් විනිසුරු බ්‍රෙට් කැවනෝ සඳහන් කර තිබෙනවා.
මැතිවරණ වංචා වැළැක්වීමේ අරමුණින් මෙම නව නීති ක්‍රියාත්මක කළ යුතු බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර, පසුගිය මාර්තු මාසයේ නිකුත් කළ විධායක නියෝගයක් මගින් තැපැල් ඡන්ද පත්‍රිකා නීත්‍යානුකූල ඡන්දදායක ලැයිස්තුවල සිටින පුද්ගලයන්ට පමණක් ලබාදෙන ලෙස ඔහු USPS වෙත උපදෙස් දී තිබුණා. එමෙන්ම, එම පත්‍රිකා සහිත ලියුම් කවර සඳහා අනන්‍ය තීරු කේත (barcodes) හඳුන්වාදීමට සහ ඡන්දදායකයන්ගේ තොරතුරු මාර්ගගත පද්ධතියකට ඇතුළත් කිරීමට ද ප්‍රාන්ත නිලධාරීන්ට අනිවාර්ය කර තිබුණි.
මෙම නියෝගයට එරෙහිව අමෙරිකානු ප්‍රාන්ත 23ක් සහ වොෂිංටන් ඩී.සී. පරිපාලනය අධිකරණය හමුවට ගිය අතර, මැතිවරණයට ඉතා ආසන්නව මෙවැනි නීති ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව තැපැල් සේවක වෘත්තීය සමිති ද පෙන්වා දුන්නා. ඒ අනුව, බොස්ටන්හි ෆෙඩරල් විනිසුරුවරියක වන ඉන්දිරා තල්වානි සැප්තැම්බර් 4 වනදා නියෝග කළේ මැතිවරණය ආසන්නයේ මෙම වෙනස්කම් සිදුකිරීමෙන් ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි විය හැකි බවයි. මේ වනවිටත් ප්‍රාන්ත කිහිපයක් තැපැල් ඡන්ද බෙදාහැරීම ආරම්භ කර ඇති අතර, කොංග්‍රසයේ බලය තීරණය වන මෙම මැතිවරණයේදී ට්‍රම්ප්ට තැපැල් ඡන්ද සම්බන්ධයෙන් හිමිවූ පළමු පසුබෑම මෙය නොවේ.

