නාට්‍ය කලා මන්දිරය සිය ස්වර්ණ ජයන්තිය අභිමානවත් ලෙස සැමරීමට සූදානම් වේ.

0
8

ශ්‍රී ලංකාවේ භාරතීය සම්භාව්‍ය නර්තන කලාව හා සංස්කෘතික උරුමය පෝෂණය කරමින් අඩ සියවසක් පුරා අඛණ්ඩ මෙහෙවරක නිරත වූ නාට්‍ය කලා මන්දිරය සිය ස්වර්ණ ජයන්තිය අභිමානවත් ලෙස සැමරීමට සූදානම් වේ.

1976 වසරේදී ආරම්භ කරන ලද නාට්‍ය කලා මන්දිරය, පරම්පරා ගණනාවක නර්තන ශිල්පීන් පුහුණු කරමින් ඔවුන් දක්ෂ කලාකරුවන් බවට පත් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ. ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සංවිධාන කෙරෙන විශේෂ වේදිකා නර්තන නිෂ්පාදනය ‘පොට්සබයි’ සැප්තැම්බර් 19 වැනිදා පස්වරු 5.30ට කොළඹ ශ්‍රී මාණික්ක පිල්ලයාර් කලා අරංගම්හිදී පැවැත්වීමට නියමිතය.

නාට්‍ය කලා මන්දිරයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂිකා ශ්‍රීමති වසුගී ජගතීශ්වරන් මහත්මියගේ පනස් වසරක කලා මෙහෙවර මෙම අවස්ථාවේදී විශේෂයෙන් ඇගයීමට ලක් වේ. කලාසූරි සහ කලායිමාමාණි ඇතුළු ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබා ඇති ඇය, සිය මෑණියන්ගෙන් මූලික නර්තන පුහුණුව ලබා පසුව පද්ම ශ්‍රී අඩයාර් කේ. ලක්ෂ්මන් යටතේ සිය කලා දැනුම තවදුරටත් ඔප් නංවා ගත්තාය.

ඇයගේ මඟපෙන්වීම යටතේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 153 දෙනෙකුට වැඩි පිරිසක් අරංගෙට්‍රම් ඉදිරිපත් කර ඇති අතර, නර්තන තාක්ෂණයට පමණක් සීමා නොවී විනය, නිහතමානිකම සහ ආධ්‍යාත්මික ගුණාංගවලින් පිරිපුන් කලාකරුවන් බිහි කිරීමටද ඇය කැපවී සිටින්නීය.

නාට්‍ය කලා මන්දිරය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාවල නියෝජනය කරමින් ඉන්දියාව, කැනඩාවේ එක්ස්පෝ ’86, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල විවිධ කලා උළෙල හා සංස්කෘතික වැඩසටහන් සඳහා සහභාගී වී තිබේ. එමෙන්ම සාර්ක් සංස්කෘතික සමුළුවටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වී ඇත.

‘මදුරෙයි මීනාක්ෂි’, ‘ශිව්ලීලා’ සහ ‘නාට්‍ය වෛභවම්’ වැනි නර්තන නිෂ්පාදන හරහා දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගේ පැසසුමට ලක් වූ නාට්‍ය කලා මන්දිරය, රාජ්‍ය නායකයන් සහ සම්භාවනීය අමුත්තන් ඉදිරියේද සිය නිර්මාණ ඉදිරිපත් කර ඇත.

ශ්‍රීමති වසුගී ජගතීශ්වරන් මහත්මියගේ දීර්ඝ කලා මෙහෙවර බුන්කා සම්මානය, ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානය සහ විශ්ව රංගාභිමානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

ස්වර්ණ ජයන්තිය සනිටුහන් කරන ‘පොට්සබයි’ නිෂ්පාදනය, නාට්‍ය කලා මන්දිරය සමඟ දිගු කලක් පුරා එක්ව සිටින කලාකරුවන්ගේ සහ ශිෂ්‍ය පරපුරේ කැපවීමෙන් ඉදිරිපත් කෙරේ. ප්‍රකට භාරතීය නර්තන ශිල්පිනී ශ්‍රීමති ප්‍රියදර්ශිනී ගෝවින්ද් මහත්මිය මෙම සුවිශේෂී අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.

අඩ සියවසක් පුරා භාරතීය සම්භාව්‍ය නර්තන කලාවේ උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර අභිමානයෙන් සමරමින්, නාට්‍ය කලා මන්දිරයේ ස්වර්ණ ජයන්තිය ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here