මැලේසියාවේ “ගුවන් වෛද්‍යාධාර” හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු පස්දෙනෙකු මියයයි.

0
4

මැලේසියාවේ සරවාක් (Sarawak) ප්‍රාන්තයේ සිදු වූ “ගුවන් වෛද්‍යාධාර ” (Flying Doctor) සේවා හෙලිකොප්ටර් යානා අනතුරකින් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළුව එහි ගමන් ගත් පස්දෙනාම මියගොස් ඇති බව බලධාරීන් සහ රාජ්‍ය පුවත් සේවය තහවුරු කරයි.

සෞඛ්‍ය අමාත්‍ය ඩ්සුල්කෙෆ්ලි අහමඩ් (Dzulkefly Ahmad) ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ සරවාක් ප්‍රාන්තයේ ‘ලෝං ලෙලෑං’ (Long Lellang) ගුවන්තොටුපළ ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරට ලක්වන අවස්ථාවේදී එහි ගුවන් නියමුවාට අමතරව රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි වෛද්‍ය නිලධාරියෙකු, සහකාර වෛද්‍ය නිලධාරියෙකු සහ හෙදියන් දෙදෙනෙකු සිට ඇති බව ඔහු පැවසීය.

ග්‍රාමීය සහ ප්‍රවේශ වීමට අපහසු දුරස්ථ ප්‍රදේශවල වෙසෙන ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර, හදිසි ප්‍රවාහන සහ සායනික සේවාවන් සැපයීම සඳහා මෙම “ගුවන් වෛද්‍යාධාර සේවාව” (Flying Doctor Service) භාවිත කරනු ලබයි.

දුමාර සහිත අයහපත් කාලගුණය හේතුවෙන් සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වූ අතර, ගුවන් මගින් සෙවුම් කටයුතු සිදුකිරීම තහනම් කළ බව සරවාක් පොලිස් කොමසාරිස් මොහොමඩ් සයිනල් අබ්දුල්ලා පැවසීය. අනතුර සිදු වූ ස්ථානය ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති බැවින් මාර්ග මගින් ගමන් කිරීමට පැය 10 ක පමණ කාලයක් ගතවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

අසල්වැසි ඉන්දුනීසියාවේ ලැව්ගිනි හේතුවෙන් හටගත් අධික දුමාරයෙන් සරවාක් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ප්‍රදේශ රැසක වායුගෝලයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටී ඇත. වායු දූෂණය අන්තරායකර මට්ටමකට ඉහළ යෑම හේතුවෙන් පසුගිය සතියේ සරවාක්හි ‘සේරියන්’ (Serian) දිස්ත්‍රික්කයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළද, පසුව කාලගුණය යහපත් වීමත් සමඟ එය ඉවත් කර ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here