අල්ලස් කොමිසමෙන් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

0
20

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රශ්නගත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදීමට අද පෙරවරු 9.15 ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් පැය කිහිපයක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට A-330 ගුවන් යානා 06ක් සහ A-350 ගුවන් යානා 08ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට එවකට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී තිබුණි.

දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 08 වනදා අභිරහස් ලෙස මියගිය අතර, එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක කරයි. මෙම නඩුවේ අනෙක් සැකකරුවන් වන ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

මෙම ගනුදෙනුව පිළිබඳ විමර්ශන සඳහා සහාය වීමට ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිත පිරිසක් ද පසුගිය අගෝස්තු මස මුලදී මෙරටට පැමිණ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here