ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (27) පස්වරු 06.43ට ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ කිලෝමීටර් 2යි මීටර් 150ක දුරක් වීථි සංචාරය කර නැවත ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීමට නියමිත අතර, ඒ වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව පෙරහැර කාලසීමාව තුළ කටුගස්තොට දෙසින් පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිස් හන්දිය හරහා නගරයට ඇතුළු විය යුතු අතර, සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය, යටිනුවර වීදිය සහ මීරමක්කම් පල්ලිය අසලින් තිලක් රත්නායක මාවතට ධාවනය කළ යුතු අතර කටුගස්තොට දෙසට පිටවන වාහන තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාවට ගමන් කළ යුතුය.
තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත, වේල්ස් පාර්ක් හන්දිය සහ ඇහැලේපොළ කුමාරිහාමි මාවත හරහා බෝගම්බර හා දුම්රිය පොළ අසලට පැමිණ කොළඹ හෝ නගරය දෙසට ගමන් කළ හැකි අතර, නගරයේ සිට අම්පිටිය හා තෙල්දෙණිය දෙසට යන වාහන ඔරලෝසු කණුව වටරවුම, දළදා වීදිය, රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් සංඝරාජ මාවත ඔස්සේ හෝ බෝගම්බර වටරවුම හරහා ගමන් කළ හැකි අතර, පල්ලිය පාර සහ කොළඹ මාර්ගයේ විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම වාහන ධාවනය සඳහා විවෘතව පවතිනු ඇත.

