ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා 2026 දෙසැම්බර් මස පැවැත්වෙන III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇති බව නිවේදනය කර ඇත.
අගෝස්තු 21 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව, දිවයින පුරා පිහිටි සියලුම ජාතික හා පළාත් පාසල්වල සේවය කරන අදාළ ගුරු නිලධාරීන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා අද (25) සිට සැප්තැම්බර් 14 වන දින දක්වා මාර්ගගත ක්‍රමයට (Online) අයදුම්පත් යොමු කළ හැකිය.
ශ්‍රී ලංකා ගුරු සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ ගුරු සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියට (2-I) උසස්වීම් ලබා වසර හතරක් සම්පූර්ණ වීමට පෙර මෙම කඩඉම් විභාගය සමත්වීම අනිවාර්ය කර තිබේ. තවද, එම වසර හතරක කාලය ඉක්මවා තිබුණද, 2025 ජුනි 30 වන දිනෙන් පසුව I ශ්‍රේණියට උසස්වීම් අපේක්ෂා කරන ගුරුවරුන් ද මෙම විභාග අවශ්‍යතාව සපුරාලිය යුතු වේ.
විභාගය සඳහා අවශ්‍ය ස්වයං අධ්‍යයන මොඩියුල සහ විෂය නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ඊ-තක්ෂසලා’ (e-Thaksalawa) නිල වෙබ් අඩවියේ පළ කර ඇති බැවින්, අපේක්ෂකයින්ට ඒ හරහා අධ්‍යයන කටයුතු සිදු කර විභාගයට සූදානම් විය හැකි බව දන්වා ඇත.

