තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 සිට 2025 දක්වා කාලය තුළ සිදුවූ මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වනදා රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) විශේෂ අවධානයට ලක්ව තිබේ.
සුළු සිදුවීම් සඳහා කාලය සහ සම්පත් වැය නොකර, බරපතළ මූල්‍ය වංචා පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කර වගකිවයුත්තන්ගෙන් අලාභ අය කරගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය. වසර ගණනාවක් තිස්සේ පරීක්ෂණ ප්‍රමාද වීම, මානව සම්පත් හිඟය සහ චෝදනා ලැබූවන් අතුරුදන් වීම හෝ මියයාම වැනි ගැටලු ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා විධිමත් කිරීම සහ වැඩ අධ්‍යයන වාර්තාවන්ට අනුව ප්රශස්ත සේවක සංඛ්‍යාවක් හඳුන්වා දීමට කටයුතු කරන බවද නිලධාරීන් විසින් කාරක සභාවට දැනුම් දෙන ලදී.

