රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයේ තවදුරටත් රඳවා නොතබා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
අගෝස්තු 20 වැනිදා යොමුකර ඇති එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍ය රැකවරණයෙන් තම සැමියා ඉවත් කර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට පත් කිරීමට ගන්නා ඕනෑම පියවරක් ඔහුගේ ජීවිතයට ක්ෂණික හා බරපතළ අවදානමක් ඇති කළ හැකි බවයි.
දිගින් දිගටම රඳවා තබා ගැනීමට සහ රැඳවුම් තත්ත්වයන්ට විරෝධය පළ කරමින් සුරේෂ් සලේ මහතා උපවාසයක් ආරම්භ කිරීමෙන් අනතුරුව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා 2026 ජූනි 7 වැනිදා ඔහු ශ්‍රී ලංකා ජාතික රෝහලට මාරු කර යවා තිබේ. එතැන් සිට ඔහු හෘද රෝග අංශයට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය හා ප්‍රතිකාර යටතේ පසුවන බවද ලිපියේ සඳහන් වේ.
හෘද ක්‍රියාකාරිත්වය අඛණ්ඩව දුර්වල වීම සහ බරපතළ ශාරීරික දුර්වලතාව හේතුවෙන් තම සැමියාට හෘද සැත්කමකට මුහුණදීමට සිදුව ඇති බවත්, එහිදී හෘද ස්පන්දනය නියාමනය කිරීම සඳහා ස්වයංක්‍රීය හෘද ස්පන්දන නියාමක යන්ත්‍රයක් සවි කර ඇති බවත් තමන්ට දැනුම් දී ඇති බව මනෝරි සලේ මහත්මිය පවසයි.
මෙවැනි පසුබිමක් තුළ තම සැමියා මේ වන විට ඉතා අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයක පසුවන බැවින්, ඔහුට අඛණ්ඩව සහ විශේෂිත වෛද්‍ය අධීක්ෂණය හා ප්‍රතිකාර අවශ්‍ය බවද ඇය අවධාරණය කර තිබේ.
ඒ අනුව, දැනට පවතින රඳවා ගැනීමේ නියෝගය කල් ඉකුත් වූ පසු එය තවදුරටත් දීර්ඝ නොකරන ලෙසත්, තම සැමියා ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍ය රැකවරණයෙන් ඉවත් කර නැවත CID භාරයට පත් නොකරන ලෙසත් මනෝරි සලේ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එමෙන්ම කිසිදු නීත්‍යානුකූල විමර්ශනයකට බාධා කිරීමට, එය ප්‍රමාද කිරීමට හෝ මැදිහත් වීමට තම සැමියාට හෝ පවුලේ කිසිදු සාමාජිකයෙකුට අදහසක් නොමැති බවද ඇය සිය ලිපියෙන් සඳහන් කර තිබේ.
නීතියට අනුකූලව සිදුකරන ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය ලබාදීමට තම පවුල සූදානම් බවද මනෝරි සලේ මහත්මිය ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

