ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය දැයෙන් සමුගනී

0
2

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද(22) පස්වරුවේ දැයෙන් සමුගත්තාය.

ඇගේ දේහය රැගත් අවමංගල්‍ය රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, ඇගේ අවසන් කැමැත්තට අනුව කිසිදු උත්සව සභාවකින් තොරව දේහය ආදාහනය කෙරිණි.

පසුගිය 20 වැනිදා නාවල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ නන්දා මාලනී මහත්මිය මියයන විට 82 වැනි වියේ පසුවූවාය.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලැබූ ඇය කුඩා අවධියේ සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය. නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සිය සංගීත හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබිණි.

කාව්‍ය තරගයකදී ඇයගේ ගායන හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය එවකට කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ ‘ළමා මණ්ඩපය’ වෙත හඳුන්වා දී තිබුණි.

එහිදී ඇය ගායනා කළ ‘බුදු සාදු’ ගීතය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.

1961 වසරේ නිෂ්පාදනය කළ මෙරට පළමු වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන ‘රන්මුතු දූව’ චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සිදුකරනු ලැබූ අතර, එහිදී නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමි විය.

එය ඇයගේ පළමු චිත්‍රපට ගීතය වූ අතර, ‘ගලන ගඟකි ජීවිතේ’ නමින් එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

දශක ගණනාවක් පුරා දිව ගිය ඇගේ සංගීත දිවිය තුළ ගායනා කළ ගීත රැසක් ශ්‍රී ලාංකීය රසික ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. ‘පෙරදා මහ රෑ’, ‘පහන් කන්ද’, ‘සත්‍යයේ ගීතය’, ‘පවන ගී එකතුව’, ‘හේමන්තයේදී’, ‘තාරුකා ඇස්’, ‘පාවෙනා’, ‘සින්දු හෝඩිය’, ‘කිඳුරියකගේ විලාපය’, ‘මඳු බඳුන්’, ‘හඳහාමි’, ‘සංඛ පද්ම’, ‘පෙම්බර ලංකා’, ‘ග්‍රැමෆෝන් ගී’, ‘අරලිය ලන්දට’, ‘නිලම්බරේ’, ‘පිරිත් පැන්’ සහ ‘ඔබයි රම්‍ය සඳ කිරණ’ ඇතුළු ගීත ඒ අතර වේ.

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින්ද පිදුම් ලැබුවාය.

සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් බවට පත්ව සිටියද, ඇය සිය පෞද්ගලික ජීවිතය තුළද සරල හා චාම් දිවි පෙවතක් ගත කළ කලාකාරිනියක ලෙස ප්‍රකටව සිටියාය. ඇගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටම දැඩි පාඩුවක් විය.

නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් රජය විසින් දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබූ අතර, ඇගේ දේහය නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබිණි. එහිදී දේශපාලනඥයන්, කලාකරුවන් සහ මහජනතාව ඇතුළු විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.

අද ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පස්වරු 3.30ට පමණ දේහය රැගත් රිය පෙරහැර නාවලින් පිටත් වූ අතර, පස්වරු 5ට පමණ එය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ළඟා විය.

ඒ අනුව, දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමරණීය මෙහෙවරක් ඉටු කළ ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය සිය සංගීත උරුමය මෙරට ජනතාවට ඉතිරි කරමින් අද පස්වරුවේ දැයෙන් සදහටම සමුගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here