ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට දකුණු කොරියාවෙන් දිගුකාලීන වීසා

0
5

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් අනතුරකදී මුහුදට වැටුණු යානයක සිටි නියමුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගත් ශ්‍රී ලාංකික ධීවරයන් දෙදෙනෙකුට දිගුකාලීන පදිංචි වීසා ලබාදීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබේ.

2022 අගෝස්තු 12 වැනිදා සෝල් නුවරට කිලෝමීටර් 45ක් පමණ දකුණින් පිහිටි හ්වාසන්ග් වෙරළට ඔබ්බෙන් වූ කහ මුහුදේදී මෙම අනතුර සිදුව ඇත. එම අවස්ථාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අනතුර දැක වහාම ක්‍රියාත්මක වී තිබේ.

ඔවුන් සේවය කළ කොරියානු ධීවර යාත්‍රාවේ සහාය ඇතිව මුහුදට වැටුණු ගුවන් නියමුවන් දෙදෙනා බේරාගෙන ආරක්ෂිතව වෙරළට රැගෙන යාමට එම ශ්‍රී ලාංකිකයන් කටයුතු කර ඇත.

එම අවස්ථාවේදී ඔවුන් දකුණු කොරියාවේ රැකියා බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ නිකුත් කරන E-9 වීසා මත සේවය කරමින් සිටි බව සඳහන් වේ. සාමාන්‍යයෙන් E-9 වීසා බලපත්‍රයක් යටතේ විදේශීය ශ්‍රමිකයෙකුට දකුණු කොරියාවේ රැඳී සිටිය හැක්කේ උපරිම වසර 4යි මාස 10ක කාලයකි.

කෙසේ වෙතත්, ගුවන් නියමුවන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීමේදී දැක්වූ සුවිශේෂී ධෛර්යය සහ මානුෂීය මෙහෙය අගය කරමින් දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය විසින් අදාළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට දිගුකාලීන පදිංචිය සඳහා වීසා ලබාදී තිබේ.

ඒ අනුව, ඔවුන්ට නැවත නැවත වීසා දීර්ඝ කිරීමකින් තොරව දකුණු කොරියාවේ දිගුකාලීනව රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙම ගලවාගැනීමේ මෙහෙයුමට සහාය වූ අනෙක් ශ්‍රී ලාංකිකයාටද මේ වන විට දිගුකාලීන වීසා බලපත්‍රයක් හිමිව ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here