ගාසාවේ පලස්තීනුවන් ’30ත් 40ත් අතර සංඛ්‍යාවක්’ දිනපතා රාත්‍රියට ඝාතනය කළ යුතුයි – ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික අමාත්‍ය ඉතාමාර් බෙන්-ගවීර්

0
17

ගාසා තීරයේ දිනපතා රාත්‍රියට පලස්තීනුවන් 30ත් 40ත් අතර සංඛ්‍යාවක් ඉලක්කගත ප්‍රහාර මගින් ඝාතනය කළ යුතු බවට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ඉතාමාර් බෙන්-ගවීර් (Itamar Ben-Gvir) ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන බෙන්-ගවීර්, එරට ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ නියෝජිතයෙකු වන අතර යුද පාලන ප්‍රතිපත්ති තීරණය කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

හිටපු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවෙකු මෙහෙයවූ පෝඩ්කාස්ට් (Podcast) වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර ඇත. ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාර අවම කිරීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කළ බෙන්-ගවීර්, තමන් අගමැතිවරයාගේ ප්‍රවේශයට එකඟ නොවන බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ක්ෂණික තර්ජනයක් වන පිරිස් පමණක් නොව, ජීවත් වීමට සුදුසුකම් නොමැති පිරිස් පවා ඉලක්ක කර ගනිමින් දිනපතා රාත්‍රියට 30-40 අතර ප්‍රමාණයක් ඝාතනය කළ යුතු බවට පවසා තිබේ. පලස්තීනුවන් ගාසාවෙන් වෙනත් රටවලට නැවත පදිංචි කරවීම (Mass Emigration) සහ ගාසා තීරය පුරා නැවත ඊශ්‍රායල ජනපද පිහිටුවිය යුතු බවටද ඔහු යෝජනා කළේය.

ඉතාමාර් බෙන්-ගවීර් සෘජුවම හමුදා මෙහෙයුම් පාලනය නොකළද, ඊශ්‍රායලයේ ජාතික පොලිසිය සහ බන්ධනාගාර පද්ධතිය පාලනය කරන්නේ ඔහුගේ අමාත්‍යාංශය යටතේය.

ඔහුගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි විවේචන එල්ල වී ඇති අතර, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේදී (ICJ) ඊශ්‍රායලයට එරෙහිව ඉදිරිපත් කෙරුණු ජන සංහාරක චෝදනාවලදීද මෙවැනි අන්තවාදී ප්‍රකාශ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, ඊශ්‍රායලය ජන සංහාරක චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here