එල්නිනෝ තත්වය ඉදිරි වසරේ අප්‍රේල් දක්වා

0
12

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේත්, මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය වේ. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ පවතින මෙම වියළි කාලගුණය නිමා වී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ එළඹෙන ඔක්තෝබර් මාසයේදී බවයි. මේ නිසා එළිමහනේ ගැවසෙන විට සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම, නිතර ජලය පානය කිරීම, විවේක ගැනීම සහ වැඩිහිටියන් හා රෝගීන් පිළිබඳ විශේෂයෙන් සොයා බැලීම අත්‍යවශ්‍ය වේ.

දැනට නිරිතදිග මෝසම් කාලගුණය සක්‍රීයව පැවතුණද, ඉදිරි දින කිහිපය තුළ සමස්තයක් ලෙස වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, අද (13) දිනයේදී බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, නැගෙනහිර, ඌව සහ මුලතිව් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. මීට අමතරව උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක තද සුළං තත්ත්වයක්ද අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා සැප්තැම්බර් දක්වාම වියළි කාලගුණය පැවැත්ම සාමාන්‍ය තත්ත්වයකි.

පවතින මෙම තත්ත්වය කෙරෙහි ‘එල්නිනෝ’ සංසිද්ධියේ බලපෑමද හේතු වී ඇත. නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමට 80% කට වඩා වැඩි සම්භාවිතාවක් පවතින බවත්, එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් දක්වාම පැවතිය හැකි බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙරටට ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි වුවද, එල්නිනෝ බලපෑම නිසා ලබන වසරේ පළමු කාර්තුවේදී යළිත් වර්ෂාපතනය අඩුවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here