බ්‍රික්ස් නියෝජිතයෝ සාංචිහි බෞද්ධ උරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පයන් දැක මවිත වෙති.

0
7

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි ඓතිහාසික සාංචි පුදබිමේ සංචාරයක නිරත වූ බ්‍රික්ස් (BRICS) සංවිධානයේ නියෝජිත පිරිසක් එහි පවතින සුවිශේෂී බෞද්ධ උරුමය, ගෘහ නිර්මාණ ශිල්පය සහ ඓතිහාසික පසුබිම පිළිබඳව සිය දැඩි ප්‍රසාදය පළ කරති. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී අශෝක අධිරාජයා විසින් නිර්මාණය කරන ලද මෙම පූජනීය භූමිය වර්තමානයේ යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමියන් සඳහන් කළේ බ්‍රසීලය, චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව, රුසියාව සහ තායිලන්තය ඇතුළු බ්‍රික්ස් සාමාජික රටවල් 11ක් නියෝජනය කරමින් නියෝජිතයන් 42 දෙදෙනෙකු මෙම සංචාරයට එක්වූ බවයි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු යොදා තිබිණි.

වසර 74කට පසු සිදුවූ විශේෂ සර්වඥ ධාතු ප්‍රදර්ශනය

මෙම සංචාරයේ විශේෂම අවස්ථාව සලකුණු කරමින්, සාංචි ඉතිහාසයේ වසර 74කට පසු ප්‍රථම වතාවට භූගත ධාතු ගර්භයෙන් සර්වඥ ධාතූන් වහන්සේලා ඉහළ මාලයට වැඩම කරවා බ්‍රික්ස් නියෝජිතයන් වෙනුවෙන් විශේෂ ධාතු ප්‍රදර්ශනයක් සහ තේවා පූජාවක් පවත්වා තිබේ. සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ තේවාව භාර පූජ්‍ය පණ්ඩිත උඩුගම තපස්සි හිමියන් පැවසුවේ මෙම දුර්ලභ අවස්ථාව සංචාරකයින්ගේ විශේෂ ඇගයීමට ලක්වූ බවයි.

මෙම අවස්ථාවට බ්‍රික්ස් රටවල සංස්කෘතික හා පුරාවිද්‍යා බලධාරීන්ට අමතරව ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ගජේන්ද්‍ර සිං ෂෙකාවත්, මධ්‍ය ප්‍රදේශ් සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය ධර්මේන්ද්‍ර ලෝදි, රයිසන් දිසාපති අරුන් කුමාර් විශ්වකර්ම, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් ශිවශේකර් ශුක්ලා සහ මධ්‍ය ප්‍රදේශ් සංචාරක මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂ ඉලයියා රාජා ටී ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

සාංචි පුදබිම යනු පුරාණ ඉන්දියානු සංස්කෘතිය සහ ලෝක සාමයේ පණිවිඩය එකට කැටිකර දක්වන අසමසම උරුමයක් බව පැවසූ නියෝජිත පිරිස, වසර දහස් ගණනක් පැරණි මෙම බෞද්ධ උරුමය සියැසින් දැකබලා ගැනීමට ලැබීම අමතක නොවන අත්දැකීමක් බව වැඩිදුරටත් සඳහන් කළහ.

අගෝස්තු 05 සිට 08 දක්වා බෝපාල්හි කුෂාභාවු තක්රේ ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු නියෝජිත සමුළුවට සමගාමීව මෙම සංචාරය සංවිධානය කර තිබුණි. 18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 12 සහ 13 යන දෙදින නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here