දඹුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ බකමූණ, දමනයාය ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ දරුණු රථවාහන අනතුරකින් මවක් සහ ඇගේ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ 63 හැවිරිදි මවක් සහ ඇගේ 43 හැවිරිදි පුත්‍රයායි. එම යතුරුපැදියේ ගමන් කළ මියගිය පුද්ගලයාගේ අවුරුදු එකහමාරක් වයසැති බිළිඳා ද බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
කළුන්දෑව ප්‍රදේශයේ පැවැති උපන්දින සාදයකට සහභාගි වී නැවත නිවස බලා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී තිබේ. කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයකට ඉදිරියෙන් ගමන් කළ මොවුන්ගේ යතුරුපැදිය දමනයාය ප්‍රදේශයෙන් වෙනත් මාර්ගයකට හැරවීමට යාමේදී බස් රථයේ ගැටී ඇති බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික බස් රථයේ රියදුරු බකමූණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

