ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000 සීමාවට ළං වෙමින් පවතී. පසුගිය 12 වැනිදා වන විට 68,672ක් ලෙස සටහන් වූ රෝගීන් සංඛ්‍යාව, ඊයේ (13) දිනයේ පමණක් අලුතින් වාර්තා වූ රෝගීන් 1,279 දෙනෙකු ද සමඟින් 69,951 දක්වා ඉහළ ගොස් ඇත.
මෙසේ රෝගීන් වාර්තා වීම ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ජූනි සහ ජූලි මාස වන අතර, වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 21,538 දෙනෙකු ජූනි මාසයෙන් ද, ජූලි මාසයේ ගතවූ දින 13 තුළ පමණක් රෝගීන් 14,572 දෙනෙකු ද වශයෙන් වාර්තා වී තිබේ.
භූගෝලීය වශයෙන් ගත් කල, වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර එහි සමස්ත රෝගීන් සංඛ්‍යාව 36,795ක් ලෙස සටහන් වේ.
ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 14,464කි. ඊට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් 14,004 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

