මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ එය කළමනාකරණය කිරීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණි..
ඉදිරියේදී වර්ධනය විය හැකි තත්ත්ව පිළිබඳව උපකල්පනය කළ නොහැකි වුවත්, සෑම ක්ෂේත්‍රයකම උද්ගත වන නව වර්ධනයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සාමුහිකව එම අභියෝග ජය ගැනීමට කටයුතු කරමු යැයි මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියළු දෙනාට ආරාධනා කර තිබේ.
ඉන්ධන සහ ගෑස් සැපයුම් සම්බන්ධව ඉදිරියේදී මතු විය හැකි අභියෝග සහ තොග අවශ්‍යතා කළමනාකරණය කර ගැනීම පිළිබඳව මෙන්ම, සංචාරක, අපනයන, ආයෝජන ආදී අංශවලද, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන්ද මතු විය හැකි තත්ත්ව සහ එමගින් මෙරට උද්ධමනයට ඇති විය හැකි බලපෑම පිළිබඳවත්, එය කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
මීට අමතරව, නාවුක සහ ගුවන් ගමනාගමනයේදී මතු වී ඇති ගැටලු නිරාකරණය වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවත්, පවත්නා තත්ත්වය හමුවේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණිය හැකි නව තාක්ෂණය හා සම්බන්ධ අයෝජන දිරි ගැන්වීම වෙනුවෙන් ලබා දිය හැකි සහන පිළිබඳවත් සොයා බලන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත..

