ජනතාවගේ මුදල් අන්තර් ජාලය හරහා කොල්ලකෑ චීන ජාතිකයන් රුසක් අත්අඩංගුවට

0
42

NEWSNOW | –   ඔන්ලයින් මූල්‍ය වංචාවල නිරත වූ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ (12) සමත් විය.

මහනුවර කුණ්ඩසාලේ සංචාරක හෝටලයක සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණි.

පොලීසිය පැවසුවේ, හෝටල් පාලනාධිකාරිය දැනුවත්ව සැකකාර චීන ජාතිකයින් පිරිස හෝටලයේ වෙනම කලාපයක් වෙන් කරවාගෙන එම අන්තර්ජාල මූල්‍ය වංචාව සිදුකර ඇති බවය.

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා විය.

එලෙස සමාජ මාධ්‍ය සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචාවල යෙදී සිටි විදෙස් ජාතිකයින් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින කිහිපයේදී සිදුකළ වැටලීම්වලදී හැකිවුණි.

මෙවන් පසුබිමක අන්තර්ජාල වංචා සිදුකළ තවත් චීන ජාතිකයින් 126 දෙනෙකු මහනුවර කුණ්ඩසාලේ පිහිටි සංචාරක හෝටලයක දී අද අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අරුණ ජයසිංහ මහතාට ලද තොරතුරකට අනුව මහනුවර පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

අත්අඩංගුවට ගත් පිරිස අතරට චීන ජාතික තරුණියන් 17 දෙනෙකු ද අයත්ය.

කෙසේවෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් චීන ජාතිකයින් කිහිපදෙනෙක් එම ස්ථානය පිටුපසින් ගලාබසින මහවැලි ගඟ දෙසින් පළා ගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ, වැටලීම සිදුකළ ස්ථානයේ තිබී ලැප්ටොප් 120ක්, පරිගණක 14ක් සහ ජංගම දුරකථන 300කට අධික සංඛ්‍යාවක් ඇතුළු උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවය.