අද ලෝක මධ්‍යසාර නිවාරණ දිනයයි

0
51
NEWSNOW| –  ලෝක මධ්‍යසාර නිවාරණ දිනය අදට (03) යෙදී තිබේ.
ලොව පුරා වසරකට පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යසාර භාවිතයෙන් මිය යන බව වාර්’තා වේ.
ශ්‍රී ලංකාවේද මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය යන අතර රෝගීවූවන් වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් බිලියන 237ක මුදලක් වැය කරන බව සඳහන්ය.
මෙරට මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සෙරම් මහතා සඳහන් කළේය.
ලෝක මධ්‍යසාර නිවාරණ දිනය වෙනුවෙන් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්
මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් රජයට වැය කිරීමට සිදු වන සෞඛ්‍ය සහ ආර්’ථික වියදම වසරකට රුපියල් බිලියන 237ක් ලෝක මද්‍යසාර නිවාරණ දිනය ඔක්තෝම්බර් 3 වනදාට යෙදී ඇත. මද්‍යසාර භාවිතය නිසා ලොව පුරා වසරකට පුද්ගලයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මරණයට පත් වේ. ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණ වලින් 10න් 8කටම හේතුවක් වන්නේ බෝ නොවන රෝග (NCD) වන අතර බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1 ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දිය හැක.
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආර්’ථිකමය, සෞඛ්‍යමය හා සමාජීයව ගැටලු රාශියකට රටක් වශයෙන් අපට මුහුණ දීමට සිදුවී ඇත. මද්‍යසාර භාවිතය නිසා දිනකට ශ්‍රී ලාංකිකයක් 50කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් වන අතර වසරකට 15000 ත් 20000ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වේ. එමෙන්ම මද්‍යාසර යනු රටකට ආදායමක් නොවන බව ඉතා පැහැදිලි ය. එනම්, 2022 වසරේ මද්‍යසාර සුරා බදු නිසා රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 165ක් වුවද එක්සත් ජාතීන්ගේ සංවර්ධිත අරමුදල (Source – Investment Case For Alcohol Control In Sri Lanka 2022- UNDP) මගින් 2023 වසරේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මද්‍යසාර භාවිතය නිසා අප රටට දැරීම‌ට සිදු වී ඇති සෞඛ්‍ය සහ
ආර්’ථික පිරිවැය රුපියල් බිලියන 237ක් බව අනාවරණය වී ඇත. එමගින් විද්‍යමාන වන්නේ සුරාබදු වලින් ලබා ගන්නා ආදායමට වඩා මද්‍යසාර මගින් ඇති කරන සෞඛ්‍ය සහ ආර්’ ක පිරිවැය ඉතා ඉහළ බවයි.
2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (NATA) මගින් මද්‍යසාර සහ දුම්කොළ ප්‍රචාරණයන් අපේ රටේ තහනම් කර ඇත. රට තුළ ඇති නිතී උල්ලංඝනය කරමින් මද්‍යසාර සමාගම් සදාචාර විරෝධී අනීතික ආකාරයෙන් මෙම පනත (NATA) උල්ලංඝනය කරමින් ළමුන් සහ තරුණයන් ඇතුළු සමස්ත ජනතාව ඉලක්ක කරමින් මදසාර ප්‍රවර්ධනයන් තව දුරටත් සිදු කරමින් සිටියි. ළමයින් සහ තරුණයින් මද්‍යසාර සමාගම්වල ප්‍රධාන ඉලක්කයක් වන අතර මද්‍යසාර භාවිතය නිසා අකාලයේ මරණයට පත්වන මිනිසුන් වෙනුවට නව පාරිභෝගිකයින් තම භාණ්ඩය වෙත ආකර්ෂණය කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.
ජනතාවගේ මද්‍යසාර භාවිතය අවම වීම සමස්ථ රටේම සුභ සිද්ධියට හේතු වේ. සෞඛ්‍ය වියදම අවම වීමටත්, ප්‍රජාව සෞඛ්‍ය සම්පන්න වීමටත්, පවුල තුළ සතුට, සමගිය වර්ධනය වීමටත් මද්‍යසාර භාවිතය අවම වීම හේතු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මද්‍යසාර බදුකරණය සහ මිල නියම කිරීමේ ප්‍රතිපත්ති, විද්‍යාත්මකව සනාථ කර ඇති වඩාත්ම ඵලදායී හා ලාභදායී මද්‍යසාර පාලන පියවර අතර වේ. එනම් සුරා බදු වැඩිවීම තුළින් ජනතාවගේ මද්‍යසාර භාවිතය අඩුවීමත්, සුරාබදු වැඩි කිරීම තුළින් රජයේ ආදායම් වැඩි කරගැනීමට හැකි වීමත් යන කාරණා දෙකම එකවර සිදු වී තිබේ. පසුගිය වසරවල සුරාබදු වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ පසුගිය වසරක කාලය තුළ 34%කින් මද්‍යසාර සුරාබදු වැඩි කිරීම තුළින් රටේ සුරාබදු ආදායම ද වැඩි වී ඇති බවයි. 2022 වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 165.2 ක් වූ අතර 2023 වසරේ සුරාබදු ආදායම බිලියන 181.10ක් වේ. ඒ අනුව නියමිත මිල සූත්‍රයකට අනුව මද්‍යසාර සුරා බදු අය කරගැනීම හරහා මද්‍යසාර භාවිතය අවම කිරීමටත්, රජයේ ආදායම වැඩි කර ගැනීමටත්, මද්‍යාසාර භාවිතය අවම වීමත් සමග මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් වැය කිරීමට සිදු වන සෞඛ්‍ය සහ ආර්ථික වියදම් අවම කර ගැනීමටත් හැකියාවක් ඇත. එමෙන්ම මද්‍යසාර භාවිතය ආරම්භ කිරීම අවම කිරීම සඳහා ද එය ප්‍රත්‍යක්ෂ පියවරක් වේ.
මේ වන විට නව රජයක් බලයට පත් වී නැවුම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මොහොතේ රටේ මද්‍යසාර ගැටලුව අවම කිරීම සඳහා අප විසින් යෝජනා කර ඇති පහත සඳහන් යෝජනා රජය විසින් වහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ලෙස අප බලාපොරොත්තුවෙන් සිටිමු.
මද්‍යසාර ගැටලුව පාලනයට යෝජනා හා නිර්දේශ
01.මද්‍යසාර සඳහා වූ බදු උද්ධමනයට සහ ආර්ථික වර්ධනයට ගලපමින් සෑම වසරකම සුරාබදු වැඩි වන විද්‍යාත්මක බදු සූත්‍රයක් හඳුන්වා දෙමින් එය ක්‍රියාත්මක කිරීම.
02.මද්‍යසාර සමාගම් දැනටමත් රජයට ගෙවිය යුතු නමුත් පැහැර හැර ඇති බදු අයකර ගැනීමටත් අනාගතයේ එවැනි තත්වයක් ඇති නොවීමටත්, ක්‍රමවත් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
03.මද්‍යසාර භාවිතය හා ප්‍රවර්ධනය අවම කිරීමට දැනට සම්මතකර ඇති නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙන්ම දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට (NATA) යෝජනා කර ඇති සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීම.
04.තාවකාලික මද්‍යසාර බලපත් නිකුත් නොකිරීම සහ සංචාරක කර්මාන්තය මුවාවෙන් නිකුත් කරන සුරා බලපත් ලබා දීමේ ක්‍රමවේදය අත් සිටුවීම.
05.2016 අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම.
06.නීති විරෝධී මද්‍යසාර පාලනය සදහා නීතිය ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා ඇති ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියාත්මක වීම.
07.මද්‍යසාර භාවිතයට පුරුදු වීමට පෙර එයින් වළක්වා ගැනීමේ අරමුණෙන්, ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් දිගින් දිගටම ක්‍රියාත්මක වන ප්‍රතිඵලදායක මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අධෛර්යමත් කිරීම සඳහා ජාතික මට්ටමේ නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
08.මද්‍යසාර භාවිතය සඳහා යොමු වූවන් එයින් නිදහස් කරගැනීමට උපදේශනය, ප්‍රතිකාර හා වෙනත් සේවා සහ අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම.
09.මද්‍යසාර කර්’මාන්ත විසින් දැනට පවතින ප්‍රතිපත්ති දුර්’වල කිරීමට සහ නව ප්‍රතිපත්ති ගෙන ඒම වළක්වමින් සිදුකරන මැදිහත්වීම් වැළැක්වීමට කටයුතු කිරීම.
ඉහතින් සඳහන් යෝජනා ක්‍රියාත්මක කරවීම සඳහා නව රජය විසින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට අප රටේ මද්‍යසාර හා බැඳී ඇති ගැටලු අවම කිරීමට සක්‍රීයව මැදිහත් වනු ඇතැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) මෙවර ලෝක මද්‍යසාර නිවාරණ දිනයේ දී බලාපොරොත්තු වේ.
සම්පත් ද සේරම්,
විධායක අධ්‍යයක්ෂ,
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය)