ජනපති අනුරට විදෙස් රට වලින් සුබ පැතුම්

0
51

NEWSNOW| –  ඉන්දීය මහ කොමසාරිස්වරයා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා හමුවී ඉන්දීය නායකත්වයේ සුබ  පැතුම් පණිවිඩයක් ද යොමු කළේය.

මෙහිදී දෙරටේ සහයෝගීතාවය ඉදිරියට පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරුණි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක්කර තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇත්තේ දෙරට අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර මෙරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතාට අමෙරිකා එක්සත් ජනපදය සිය සුභාශිංසන පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය අගය කරන බවයි.

පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් එක්ව වැඩකිරීමට සුදානම් බව ද ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

තවද මෙරට ජපාන තානාපති මිෂුකෝෂි හිඩේකි මහතා ද නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපතිවරයා පවසන්නේ තමන් ඇතුලු ජපාන රජය දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීමට  බලාපොරොත්තු වන බවය.

මේ අතර මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතා ද අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් එක්කර ඇත.

සමීප අසල්වැසියෙකු ලෙස මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සුදානම් බව මාලදිවයින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එසේම පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතා ද සිය සුබ පැතුම් එක්කර තිබේ.

ජනාධිපතිවරණයේ ලැබු ජයග්‍රහණය පිළිබඳව අවංකව තමන් සුබ පැතුම් එක්කරන බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.