2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිවී ඇති අතර, ඒ අනුව නොවැම්බර් 12 වැනි දින මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් අයවැය කථාව සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.
නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් පුරා අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනි දින පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව ඇත. අනතුරුව, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පුරා ක්‍රියාත්මක වන අතර, තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනි දින පස්වරු 6.00ට පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙම අයවැය විවාද පැවැත්වෙන කාල සීමාව තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. තවද, දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60ක කාලයකුත් විපක්ෂයට සියයට 40ක කාලයකුත් වෙන් කර ඇති අතර, කාරක සභා අවස්ථාවේදී එය ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ලෙස බෙදී යයි.

