2027 අයවැයට විරෝධය පළ කරමින් ගුරු – විදුහල්පති එක්දින වැඩ වර්ජනයකට සැරසෙති.

0
7

2027 අයවැය මගින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැර ඇති බවට චෝදනා කරමින්, ලබන නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, නව අයවැය මගින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයින්ගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කර නොමැති බවයි. මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුවද, මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව, නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දිවයින පුරා පිහිටි පාසල් 10,110ක ගුරුවරුන් 250,000කට ආසන්න පිරිසක් සහ විදුහල්පතිවරුන් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වුවහොත්, ඉදිරියේදී තවදුරටත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here