සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්.

0
2

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන තිබේ.

රටේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සියයට 52කට වඩා දායක වන සහ සමස්ත රැකියා නියුක්තියෙන් සියයට 45ක් සපයන මෙම අංශය, මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අපහසුතා, ඩිජිටල් තාක්ෂණය භාවිතයේ පවතින අඩුපාඩු මෙන්ම ආර්ථික හා දේශගුණික කම්පන හේතුවෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දී සිටී. ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ මෙම ණය මුදල මඟින් එම බාධාවන් අවම කර වඩාත් ශක්තිමත් ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන බවයි.

මෙම අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල වෙන් කර ඇත්තේ මෙලෙසිනි:

ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් මිලියන 100ක්: ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වඩාත් හිතකර මූල්‍ය පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය නීතිමය සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් වෙනුවෙන් මෙය වෙන් කෙරේ.

ආයෝජන ණය පහසුකම් සඳහා ඩොලර් මිලියන 100ක්: මෙම ව්‍යාපාරවලට අවශ්‍ය ණය පහසුකම් පුළුල් කිරීම සඳහා මෙය වෙන් වන අතර, ඉන් ඩොලර් මිලියන 40ක්ම වෙන් කර ඇත්තේ පරිසර හිතකාමී ආයෝජන සඳහා ලබාදෙන “හරිත ණය පහසුකම්” වෙනුවෙනි.

මෙම ව්‍යාපෘතිය යටතේ මූල්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම, ණය තොරතුරු පද්ධති ශක්තිමත් කිරීම, ණය ඇපකර පහසුකම් වැඩිදියුණු කිරීම සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වැනි තීරණාත්මක පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම, ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහාය ලබාදීම සහ අසාධාරණ ණය ලබාදීමේ ක්‍රමවේද අවම කිරීම ද මෙහි අරමුණකි.

මෙම වැඩසටහනේ විශේෂතම අංගයක් වන්නේ කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීමයි. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ සහාය ලබන ව්‍යාපාරවලින් අවම වශයෙන් සියයට 20ක් වත් කාන්තාවන් සතු හෝ කාන්තා නායකත්වය සහිත ව්‍යාපාර විය යුතු බවට ආසියානු සංවර්ධන බැංකුව කොන්දේසියක් පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here