සමාජ මාධ්‍ය සඳහා දරුවන් යොදාගැනීම පාලනය කිරීමට නව නීති

0
17

සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක මෙන්ම නුසුදුසු ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීම පිණිස දැඩි නව නීති රීති හඳුන්වා දීමට පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කර ඇත.

අද වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගතයන් නිර්මාණය කිරීමට යොදාගැනීම සහ දරුවන් ලිංගික වශයෙන් නිරාවරණය වන අයුරින් කටයුතු සැලැස්වීම වැනි බරපතළ ප්‍රවණතා දක්නට ලැබෙන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි. මුදල් හෝ ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් දෙමව්පියන් විසින් දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය මෙලෙස අවදානමට ලක් කිරීම බරපතළ ගැටලුවක් බව ඇය අවධාරණය කළාය.

පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමට හෝ දරුවෙකු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය කිරීමට දෙමව්පියන්ට පවා නීතිමය අයිතියක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරිය, ඒ පිළිබඳ තීරණයක් ගත යුත්තේ දරුවාගේ වයස සහ පරිණතභාවය මත බව පැවසුවාය. දෙමව්පියන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් නිසා දරුවන්ගේ ආරක්ෂාව බරපතළ ලෙස තර්ජනයට ලක් වන්නේ නම්, ඉදිරියේදී එම දරුවන් ආරක්ෂිත භාරකාරත්වයන් යටතට පත් කිරීමට පවා පියවර ගැනීමට සිදුවනු ඇති බව ඇය වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව විශේෂඥ මණ්ඩලයකගේ දායකත්වයෙන් විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කරමින් පවතින අතර, එහි අවසාන අදියරේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

ප්‍රංශය සහ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය වැනි රටවල ‘Kidfluencing’ (දරුවන් බලපෑම්කාරී ලෙස යොදාගැනීම) පාලනය කිරීම සඳහා ළමුන් උපයන ආදායමෙන් කොටසක් අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීම සහ වැඩ කරන පැය ගණන සීමා කිරීම වැනි නීති ක්‍රියාත්මක වන අතර, එවැනි ජාත්‍යන්තර ප්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ ද දරුවන්ගේ සුබසාධනය තහවුරු කිරීමට නව නීතිමය රාමුවක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here