සමන්තුරේදී හදිසියේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීම සඳහා වනජීවී, යුද හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමක්

0
18

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව බිම වැටී සිටින වන අලියාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් වනජීවී නිලධාරීන්, පශු වෛද්‍ය කණ්ඩායම්, ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය එකතුවී පුළුල් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 25ත් 30ත් අතර වන මෙම පිරිමි වන අලියා සාමාන්‍යයෙන් මනා සෞඛ්‍යයකින් යුත්, පුෂ්ටිමත් සතෙකු බව නිරීක්ෂණය වී ඇත. සත්වයාගේ බාහිර ශරීරයේ කිසිදු බාහිර තුවාලයක් නොමැති වුවද, උදරය අසාමාන්‍ය ලෙස ඉදිමී පැවතීම හේතුවෙන් විස සහිත යමක් ශරීරගත වීමක් හෝ නොදිරන පොලිතීන් වැනි ද්‍රව්‍යයක් ආහාරයට ගැනීම නිසා ඇති වූ ආමාශයික අවහිරතාවක් මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි මූලිකව සැක කෙරේ.

නැගෙනහිර කලාපීය වනජීවී පශු වෛද්‍ය ඒකකය, අම්පාර වනජීවී අඩවි කාර්යාලය සහ සමන්තුරේ බීට්ටු කාර්යාලය එක්ව අදාළ ප්‍රතිකාර කටයුතු සම්බන්ධීකරණය කරන අතර, පරිසර අමාත්‍යාංශය නිවේදනය කළ පරිදි ඊයේ (22) දිනයේදී සත්වයාට අවශ්‍ය අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට පියවර ගෙන ඇත. ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා සත්වයා වැටී සිටි ප්‍රදේශය ජලයෙන් යටවීම ප්‍රතිකාරවලට යම් බාධාවක් වුවද, ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා එම ස්ථානයට වැලි යොදා භූමිය සකස් කිරීමේ කටයුතු මේ වන විට යුහුසුළුව ක්‍රියාත්මක වේ.

මෙම සංකීර්ණ ගැලවීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 10 දෙනෙකුගේ සහාය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති අතර, පොලිස් නිලධාරීන්ගේ පූර්ණ දායකත්වයද ඊට හිමිව තිබේ. සත්වයාගේ ආරක්ෂාව තහවුරු කරමින් නියමිත වේලාවට ඖෂධ ලබාදීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම වනජීවී නිලධාරී කණ්ඩායමක් අදාළ ස්ථානයේ රැඳී සිටිමින් අඛණ්ඩ නිරීක්ෂණ කටයුතුවල නිරත වන බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here