ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

0
11

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) ඉදිරියට ගෙන යමින් දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවට වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු වී තිබේ. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසාක් ෆුවාන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (23) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින 30ක කාලයක් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවස්ථාව සලසමින් පසුගිය නොවැම්බර් 22 වැනිදා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම හරහා දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි දෙපාර්ශ්වයම මෙහිදී විශ්වාසය පළ කළහ. එමෙන්ම, 2027 ජනවාරි මාසයේදී පැවැත්වෙන ‘එක්ස්පෝ ශ්‍රී ලංකා’ (Expo Sri Lanka) ප්‍රදර්ශනයට එක්වෙමින් මෙරට ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය තායිලන්ත ආයෝජකයන්ට ආරාධනා කළාය.

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම යොදා ගනිමින් සමුද්‍රීය සහයෝගීතාව වර්ධනය කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආහාර සැකසීම සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු විය. තවද, බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානය ඔස්සේ කලාපීය සබඳතා තර කිරීම සහ දෙරට අතර ශ්‍රම සහයෝගීතාව පිළිබඳව අදහස් හුවමාරු වූ අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය තායිලන්ත රජයට සිය ස්තූතිය පළ කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝන් (Paitoon Mahapannaporn), අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here