ශ්‍රී ලංකාවේ පෙනහලු පිළිකා රෝගීන් ඉහළ යයි: 2010 සිට 50%ක වර්ධනයක්

0
6

ජාතික පිළිකා මර්දන වැඩසටහනට සහ වැලිසර ළය රෝහලේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාව තුළ පෙනහලු පිළිකා රෝගීන් වාර්තාවීමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.

2010 වසරේ සිට 2020 වසර දක්වා වූ දශකයේදී පිරිමි සහ කාන්තා යන දෙපාර්ශ්වයේම පෙනහලු පිළිකා රෝගීන් ප්‍රමාණය 50%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ශ්වසන විද්‍යායතනයේ උරහිස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පෙන්වා දෙයි.

මේ වන විට පිරිමි පුද්ගලයින් අතර ප්‍රධාන ගණයේ පිළිකාවක් බවට පත්වෙමින් පවතින පෙනහලු පිළිකාව, කාන්තාවන්ගේ පළමු පිළිකා 10 අතරට ද එකතු වෙමින් පවතින අතර, දුම්පානය නොකරන කාන්තාවන් අතරද මෙම රෝගී තත්ත්වය වර්ධනය වීම විශේෂ අවධානයට ලක් විය යුතු කරුණකි.

පෙනහලු පිළිකාවලින් 90%ක් පමණ දුම්පානය සමඟ සෘජුවම සම්බන්ධ වුවද, දුම්පානය නොකරන පුද්ගලයින්ට ද මෙම අවදානම පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙයි.

ද්විතීක දුම්පානය (වෙනත් අයෙකු බුදින දුමට නිරාවරණය වීම), වාහන හා කර්මාන්තශාලා නිසා සිදුවන බාහිර වායු දූෂණය මෙන්ම නිසි වාතාශ්‍රයක් නොමැතිව දර හෝ භූමිතෙල් ලිප් භාවිතය නිසා ඇති වන ගෘහස්ථ වායු දූෂණය මෙයට ප්‍රධාන වශයෙන්ම බලපායි.

මීට අමතරව, දිගුකාලීන ශ්වසන රෝග, පස් හා ගොඩනැගිලි ද්‍රව්‍යවල ඇති රේඩෝන් (Radon) විකිරණශීලී වායුව මෙන්ම ඇස්බැස්ටෝස් සහ සිලිකා වැනි පිළිකාකාරකවලට නිරාවරණය වීම ද පෙනහලු පිළිකා ඇති වීමේ අවදානම වැඩි කරන බව විශේෂඥයෝ පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here