දිවයිනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවීමේ හා ව්යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ, ජනතාව මදුරු මර්දන කටයුතු නිසි පරිදි සිදු කිරීමට කඩිනමින් ක්රියා නොකළහොත් ඉදිරියේදී යළිත් වරක් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවයි. වැසි සමය ආරම්භ වීමත් සමඟම ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව ඉහළ යාම අතීතයේ සිටම නිරීක්ෂණය වූ කරුණක් බවද හෙතෙම සඳහන් කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් දැනටමත් සෑම දිස්ත්රික්කයකම ඩෙංගු මදුරු කීට සමීක්ෂණ ක්රියාත්මක කර ඇත. නිරිතදිග මෝසම් සමයේදී මතුවූ අධි අවදානම් තත්ත්වය සාර්ථකව පාලනය කර ගැනීමට මහජනතාව ලබාදුන් සහයෝගය අතිශයින් ඉවහල් වූ බව සිහිපත් කළ වෛද්යවරයා, එම තත්ත්වය යළි ඇති වීම වළක්වා ගැනීමට නම් සියලු දෙනාගේ දායකත්වය අත්යවශ්ය බව අවධාරණය කළේය.
එබැවින්, සියලුම නිවෙස් සහ අවට පරිශ්රයන්හි ජලය රැඳී තිබිය හැකි බහාලුම් හෝ ස්ථාන හොඳින් පරීක්ෂා කර, ඒවා ඉවත් කිරීමට හෝ ජලය රැඳීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

