රොහින්ග්‍යා මුස්ලිම් සුළුතර ජනතාවට එරෙහිව ජන සංහාර සම්මුතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මියන්මාරයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් ඓතිහාසික තීන්දුව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) විසින් සාදරයෙන් පිළිගෙන තිබේ.
2026 නොවැම්බර් 19 වැනිදා නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුව ජාත්‍යන්තර යුක්තිය සහ සත්‍යය වෙනුවෙන් ගත් වැදගත් පියවරක් බව OIC සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
මෙම තීන්දුව මඟින් රොහින්ග්‍යා ජනතාවට සිදුවූ අසාධාරණයන්ට වන්දි ලබාදීම සහ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දරන උත්සාහයට ශක්තියක් ලැබෙන බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
එමෙන්ම, අධිකරණය විසින් මියන්මාරයට රොහින්ග්‍යා වින්දිතයන් වෙනුවෙන් වන්දි ලබාදීමටත්, ඒ සම්බන්ධයෙන් වසර දෙකක් ඇතුළත නිල වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් නියෝග කර ඇති බව OIC සංවිධානය සඳහන් කරයි.
අධිකරණය විසින් ලබාදුන් තීන්දුවේදී විනිසුරුවරුන් 14 දෙනෙකුට එරෙහිව එක් විනිසුරුවරයෙකුගේ මතය පමණක් පළවී ඇති අතර, මියන්මාරය ජන සංහාර සම්මුතියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික නීති සම්පාදනය කිරීමේ වගකීම පැහැර හැර ඇති බවට තීරණය කර තිබේ.
එමෙන්ම, ජන සංහාර සම්මුතියේ V වගන්තිය උල්ලංඝනය වන ආකාරයේ අඛණ්ඩ ක්‍රියාකාරකම් වහාම නතර කරන ලෙසත්, එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙසත් මියන්මාරයට නියෝග කර ඇත.
තවද, එම සම්මුතියේ III වගන්තිය යටතේ සඳහන් අපරාධ සිදුකළ බවට සැක කෙරෙන සියලු පුද්ගලයන් වගවීමට ලක් කිරීම සඳහා කඩිනම් සහ ඵලදායී පියවර ගත යුතු බව ද අධිකරණය අවධාරණය කර තිබේ.
මෙම ඓතිහාසික නඩු කටයුත්ත ආරම්භ කිරීම සඳහා ගැම්බියාව ඉටු කළ කාර්යභාරය ද OIC සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ.
2016 සහ 2017 වසරවල මියන්මාරයේ සිදුවූ හමුදා මෙහෙයුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම්වරුන් 700,000කට අධික පිරිසකට බංග්ලාදේශයට පලා යාමට සිදුවීමෙන් අනතුරුව, 2019 නොවැම්බර් 11 වැනිදා OIC සංවිධානය සහ එහි සාමාජික රටවල් වෙනුවෙන් ගැම්බියාව මෙම නඩුව ගොනු කර තිබුණි.
මෙම නඩුවේදී ගැම්බියාව දැක්වූ නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික නායකත්වය අගය කරන බවත්, නඩු විභාගයේ විවිධ අවස්ථාවලදී සහාය ලබාදුන් ජාත්‍යන්තර ප්‍රජාවට ද සිය ස්තූතිය පළ කරන බවත් OIC සංවිධානය සඳහන් කරයි.
අධිකරණය ලබාදුන් තීරණ සම්පූර්ණයෙන් හා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව සහාය දැක්විය යුතු බව අවධාරණය කරන OIC සංවිධානය, රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් සහ ගෞරවය යළි තහවුරු කිරීම සඳහා සිය කැපවීම ද නැවත අවධාරණය කර තිබේ.


