රාජාංගනය සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ. පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

0
14

පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශ‍යේ වාන් දොරටු තිහෙන් වාන් දොරටු අටක් මේ වන විට විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 7,884ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙමින් පවතී.

මේ අතර, ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලීම නිසා එම ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තබා ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති. එම ප්‍රදේශවලට ඊයේ දිනයේ ලැබුණු අධික වර්ෂාවත් සමඟ අද අලුයම වන තෙක් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබූ අතර, ඉන් එක් වාන් දොරටුවක් අද (22) අලුයම ස්වයංක්‍රීයව වැසී ගොස් ඇත.

කෙසේ වෙතත්, ඉදිරියටත් ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ඉඩ ඇති බැවින්, ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවෝ තරයේ ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here