රටේ ස්වෛරීත්වය රකිනු පිණිස බුදුසසුනට ප්‍රමුඛස්ථානය දිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

0
8

රටේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව මෙන්ම ස්වෛරීත්වය අඛණ්ඩව සුරක්ෂිත කිරීමට නම් බුදුසසුනට ප්‍රමුඛස්ථානය ලබාදෙන අතරම, සෙසු සියලු ආගම් සහ ආගමික සිද්ධස්ථානද එක ලෙස ආරක්ෂා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

මහා විහාර වංශික අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක පදවිය හෙබවූ අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය. රටේ උත්තරීතර නීතියට අනුකූලව සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම, පෝෂණය කිරීම සහ රැකබලා ගැනීම සෑම දෙනාගේම ජාතික වගකීමක් හා යුතුකමක් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම, බුදුසසුනට හිමි තැන ලබාදෙනු ලබන අතරම, මෙරට ජීවත් වන සෙසු ආගමික ජන කොටස්, විවිධ සංස්කෘතීන් මෙන්ම අනෙකුත් ආගමික සිද්ධස්ථාන වෙතද නිසි ආරක්ෂාව සහ රැකවරණය ලබාදිය යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී අපවත් වී වදාළ වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමිපාණන් බුද්ධ ශාසනයේ චිරජීවනය වෙනුවෙන් පන්සල්, දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කැප වූ ආකාරයත්, පිළියන්දල විද්‍යාශාන්ති පුදබිම ගොඩනංවමින් ඉටු කළ අමිල ශාසනික සේවයත් ඔහු කෘතවේදීව සිහිපත් කළේය. උන්වහන්සේගේ ජීවිතයෙන් ලද ආදර්ශ පාඩම් මඟින් මහා සංඝරත්නය ආරක්ෂා කරමින්, චීවරයට හිමි උත්තරීතර ගෞරවය ලබාදෙමින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here