මහජන ප්‍රවාහන පහසුකම් නංවාලීමට සහ කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට මාර්ග 7ක් ඔස්සේ ධාවනය වන ‘මෙට්‍රෝ’ (Metro) බස් රථ හිතාමතාම අනතුරට ලක්කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
මහරගම පොලිස් ස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මේ බව අනාවරණය කළේය. ඇතැම් පෞද්ගලික බස් රථ මෙට්‍රෝ බස් රථ ඉලක්ක කරගනිමින් මේ ආකාරයට අනතුරු සිදුකිරීමේ සිද්ධීන් කිහිපයක්ම අනාවරණය වී ඇති බව ඔහු සඳහන් කළේය.
අතුරුගිරිය මිලේනියම් සිටි ආසන්නයේ සහ රාජගිරියේදී මෙට්‍රෝ බස් රථ අනතුරට ලක්කළ පෞද්ගලික බස් රියදුරුට නිත්‍ය මගී ප්‍රවාහන බලපත්‍රයක්වත් නොතිබූ බවත්, මාකුඹුර ප්‍රදේශයේදී මෙට්‍රෝ බස් රථයක් අනතුරට ලක්කළ රියදුරා බීමත්ව මෙන්ම කිසිදු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පදවා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව කැස්බෑව, බොරැල්ල සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවලදී ද මෑතකදී මෙවැනිම සිද්ධීන් වාර්තා වී තිබේ. මෙම බස් රථවලට මගීන් නංවා ගැනීම සඳහා මාර්ගයේ නතර කිරීමට පවා ඉඩ නොදෙන අයුරින් ක්‍රියාත්මක වන මෙම සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳව පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක වේ.
මෙසේ හිතාමතාම මහජන දේපළ හා බස් රථ අනතුරට ලක්කිරීම් සම්බන්ධයෙන් පොදු දේපළ පනත සහ බලපත්‍ර රහිතව රිය පැදවීම යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

