බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ප්‍රදේශයේ පවතින “මුරසු” (Murasu) නම් ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන්, ගැඹුරු මුහුදු ප්‍රදේශ කිහිපයකට නොයන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, උතුරු අක්ෂාංශ 10° – 17° සහ නැගෙනහිර දේශාංශ 80° – 85° අතර පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත, මීළඟ දැනුම් දීමක් සිදු කරන තෙක් නොයන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට උපදෙස් දී ඇත.
දැනටමත් මෙම ප්‍රදේශවල රැඳී සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස දන්වා තිබේ.
මීට අමතරව, මන්නාරමේ සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා විහිදෙන ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත ද, මීළඟ දැනුම් දීමක් සිදු කරන තෙක් නොයන ලෙස වෙනම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
අද (නොවැම්බර් 3) අලුයම 2.30 වන විට, මෙම “මුරසු” ප්‍රබල සුළි කුණාටුව උතුරු අක්ෂාංශ 15.3° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්නයේ පිහිටා තිබුණි. එය වයඹ දෙසට ගමන් කරමින් අද දිනයේදී ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පුරෝකථනය කර ඇත.
නිරිත දෙසින් හෝ දකුණු දෙසින් හමන සුළං පැයට කිලෝමීටර 25–35 ක පමණ වේගයකින් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා හලාවත සිට ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40–45 දක්වා වැඩි විය හැකිය.
මෙම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර, දිවයින අවට අනෙකුත් මුහුදු ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ප්‍රබල සුළං (පැයට කිලෝමීටර 60–70 දක්වා) හමා යා හැකි බවත්, මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.
එබැවින්, නාවික හා ධීවර ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි කාලගුණ අනාවැකි සහ උපදෙස් පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.

