ශුද්ධ වූ මුහම්මද් නබිනායකතුමන්ගේ ජන්ම දිනය සලකුණු කෙරෙන මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
මනුෂ්‍යත්වය හමුවේ ජාති, ආගම් හෝ වෙනත් කිසිදු භේදයකට වඩා අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණත්වය, කරුණාව සහ සහෝදරත්වය පෙරදැරි කරගත යුතු බව විපක්ෂනායකවරයා එම පණිවිඩය මඟින් පෙන්වා දෙයි. රට තුළ පවතින සමාජයීය විවිධත්වය බෙදීමට හේතුවක් කර නොගෙන, එය ශ්‍රී ලංකාවේ සැබෑ ශක්තිය බවට පත්කර ගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.
සමාජයේ පවතින වෙනස්කම් පිළිගනිමින්, අනෙකාගේ අයිතිවාසිකම් මෙන්ම විශ්වාසයන්ට ගරු කරමින් කිසිදු ජන කොටසක් කොන් නොවන සමතුලිත සමාජයක් නිර්මාණය කිරීම සැමගේ පොදු වගකීමක් බව ද පෙන්වා දෙන විපක්ෂනායකවරයා, නබිනායකතුමන් ලොවට පෙන්වා දුන් සාමය, සාධාරණත්වය සහ සහජීවනයේ මඟ ශ්‍රී ලංකාවට නව ආලෝකයක් වේවා යි ප්‍රාර්ථනා කරමින් සමස්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට පින්බර මිලාදුන් නබි දිනයක් වේවා යි සුබ පැතුම් එක්කර සිටියි.

