මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති ආරක්ෂක අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ක්ෂණික ලෙස ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ ප්‍රධාන තෙල් නල මාර්ගයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය, පර්සියානු ගුල්ෆ් කලාපීය නෞකාවලට ඉරානය එල්ල කළ ප්‍රහාර සහ බැබ් එල්-මන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධියේ පාලනය හූති කැරලිකරුවන් යටතට පත්වීම මෙම මිල ඉහළ යාමට මූලික වශයෙන් හේතු වී ඇත.
ගෝලීය තෙල් සැපයුමෙන් 4%කට ආසන්න ප්‍රමාණයකට වගකියන සෞදි තෙල් නල මාර්ගය අක්‍රිය වීමත් සමඟ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් (2.77%) ඉහළ ගොස් ඩොලර් 107.51ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.27කින් (2.27%) ඉහළ ගොස් ඩොලර් 102.32 දක්වා වැඩි විය.
පසුගිය ජූලි මාසයෙන් පසුව තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වන අතර, ඕමානයේ පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් හෝ තෙල් නල මාර්ගය වහාම යථා තත්ත්වයට පත් නොකළහොත් බොරතෙල් මිල පෙර පැවති ඩොලර් 119.48 හි උපරිම සීමාව දක්වා නැවත ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

