මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද

0
7

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද (18) රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාළිගාවෙන් පිටත්වීමට නියමිත අතර, එය දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ වීථි සංචාරය කර නැවත දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතය. අද සිට දින 5ක් පුරා කුඹල් පෙරහැර වීථි සංචාරය කරන අතර, ලබන 23 වනදා සිට රන්දෝලි පෙරහැර ආරම්භ වී, අවසන් රන්දෝලි පෙරහැර ලබන 27 වනදා රාත්‍රියේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම කාලසීමාව තුළ මහනුවර නගරයේ ගමනාගමනය සුමටව පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් මෙන්ම විකල්ප මාර්ග කිහිපයක්ද හඳුන්වා දී ඇත. ඒ අනුව, කටුගස්තොට දෙසින් පැමිණෙන බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත සහ පොලිස් හන්දිය හරහා නගරයට ඇතුළු විය යුතු අතර, සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය, හරස් වීදිය සහ යටිනුවර වීදිය ඔස්සේ පැමිණ මීරමක්කම් පල්ලිය අසලින් තිලක් රත්නායක මාවතට යොමු විය හැක. එමෙන්ම, කටුගස්තොට දෙසට පිටවන වාහන සඳහාද පොලිස් හන්දියෙන් තිලක් රත්නායක මාවත හරහා මහයියාව දෙසට ගමන් කිරීමට අවස්ථාව සලසා තිබේ.

තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත, වේල්ස් පාර්ක් හන්දිය සහ ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ බෝගම්බර හා දුම්රිය ස්ථානය දෙසට හෝ රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ නගරයට ඇතුළු විය හැක. නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට පිටවන වාහන සඳහා ඔරලෝසු කණුව වටරවුම, දළදා වීදිය, රැජින හෝටලය පැති දොරටුව සහ ජෝයි බෝට්ටු සේවය අසලින් සංඝරාජ මාවතට හෝ බෝගම්බර වටරවුමෙන් ඇහැලේපොළ කුමාරිහාමි මාවත සහ රජපිහිල්ල මාවත හරහා ගමන් කිරීමට පහසුකම් සපයා ඇත.

කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළුවීමට සහ පිටවීමට විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර දෙපසටම සාමාන්‍ය පරිදි භාවිත කළ හැකි බව නිවේදනය කරන පොලීසිය, පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම විශේෂ රථවාහන සැලැස්මට අනුකූලව කටයුතු කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here