බංග්ලාදේශ රාජ්‍ය අමාත්‍ය හුමයුන් කබීර් අගමැති හරිනි හමුවෙයි

0
6

බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමයුන් කබීර් මහතා ප්‍රමුඛ දූත පිරිසක් පසුගිය (18) වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.

දෙරට අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රත්වය සිහිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නාය. සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු ජන කොටස් වෙත බෙදා හැරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව සඳහන් කළ ඇය, ලබන වසරේ (2027) ජනවාරියේ පැවැත්වෙන ‘එක්ස්පෝ ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනය සඳහා එක්වන ලෙස බංග්ලාදේශ ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට ඇරයුම් කළාය.

මෙහිදී අදහස් පළ කළ බංග්ලාදේශ රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ මෑතකාලීන දේශපාලන පරිවර්තන අතර පවතින සමානකම් අවධාරණය කළේය. එමෙන්ම යහපාලනය, සමාජ ප්‍රගතිය සහ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ ද ඔහුගේ පැසසුමට ලක් විය.

පුනර්ජනනීය සහ තිරසර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම, දෙරට අතර ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා වර්ධනය කරගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here