බංග්ලාදේශය පුරා සීඝ්‍රයෙන් පැතිර යන දරුණු සරම්ප වසංගතය හේතුවෙන් මේ වන විට ළමුන් 1,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මාර්තු මාසයේ සිට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 194,000 ඉක්මවා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මෙවසරේ ලොව වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේද බංග්ලාදේශයෙනි.
දරුවන් මිලියන 19.8කට එන්නත් ලබා දී තිබුණද තවමත් දිනකට සැකකටයුතු රෝගීන් 1,000ක් පමණ වාර්තා වන අතර, අධික ජනගහනය, මන්දපෝෂණය, කොවිඩ් සමයේ ප්‍රතිශක්තිකරණ කටයුතු ප්‍රමාද වීම සහ දේශපාලන වෙනස්කම් හමුවේ එන්නත් ඇණවුම් ප්‍රමාද වීම මෙම අර්බුදයට බලපා ඇති බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.
පවතින දැඩි රෝහල් ධාරිතා අර්බුදය හමුවේ, එන්නත් නොගත් දරුවන් ඉලක්ක කරගනිමින් එළඹෙන සැප්තැම්බර් 26 වන දින සිට විශේෂ එන්නත්කරණ අදියරක් ඇරඹීමට එරට රජය සැලසුම් කර ඇත.

