2019 අප්‍රේල් 21 වනදා දිවයිනේ ස්ථාන කිහිපයක පල්ලි සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව එළඹෙන සැප්තැම්බර් 22 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර ඇත. සඳුදා (24) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඬුල්ල විසින් මෙම දිනය නියම කරන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ කුමන්ත්‍රණය කිරීම, ප්‍රහාර සදහා අනුබල දීම, ගිනිඅවි හා පතොරම් රැස්කිරීම සහ මිනීමැරීමට තැත් කිරීම ඇතුළු අධිචෝදනා 23,270 ක් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබේ.
විදේශිකයන් ඇතුළු 270 කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් සිය ගණනකට තුවාල සිදුකළ මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව, ඒ පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරුණි. ඉන් අනතුරුව නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම දීර්ඝ නඩු විභාගය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය (Trial-at-Bar) හමුවේ පවත්වාගෙන යනු ලැබූ අතර, එහි තීන්දුව මෙලෙස සැප්තැම්බර් 22 වනදා ලබාදීමට නියමිතය.

