පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ වරදකරුවන් 15 දෙනෙකුට වසර 200කට අධික බරපතළ වැඩසහිත සිරදඬුවම්. විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තකයි.

0
15

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200කට අධික බරපතළ වැඩසහිත සිරදඬුවම් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කර ඇත. ඊට අමතරව, එම වරදකරුවන් සතු සියලු නිශ්චල සහ චංචල දේපොළ රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කළේය.

වරදකරුවන් බවට නම් කෙරුණු 15 දෙනා හට දඬුවම් නියම කර නඩු විභාග කටයුතු අවසන් කෙරුනේ ඊයේ (22) රාත්‍රී 10.30 පමණය.

නියම කරන ලද සිරදඬුවම් ප්‍රමාණයන් මෙසේය:

  • විත්තිකරුවන් 5 දෙනෙකුට: වසර 200 බැගින් බරපතළ සිරදඬුවම්

  • විත්තිකරුවන් 5 දෙනෙකුට: වසර 220 බැගින් බරපතළ සිරදඬුවම්

  • විත්තිකරුවන් 4 දෙනෙකුට: වසර 240 බැගින් බරපතළ සිරදඬුවම්

  • එක් විත්තිකරුවෙකුට: වසර 260ක බරපතළ සිරදඬුවම්

දඬුවම් නියම වූ වරදකරුවන් 15 දෙනා: මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් (නවුෆර් මවුලවි), මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ (අබු හාදික්), හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් (අබු සිල්ලා), මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා (අබු උමාර්), මොහොමඩ් ඉබ්‍රාහිම් අබ්දුල් හක් (අබු ෆලා), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනාස්දීන් (අබු මිසාන්), අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස්, මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි), හුසේනුල් රිස්වි මොහොමඩ් කාහිර් සමීර්, මොහොමඩ් හනීෆා සයිනුල් ආබ්දීන් (අබු හිනා), මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්), රාසික් රාසා හුසේන් සහ කච්චි මොහොමඩ් ජස්මින්.

නඩුවේ පසුබිම සහ සෙසු තීන්දු:

  • චෝදනා සහ සාක්ෂි: චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරන ලද මෙම නඩුවේදී පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ.

  • නිදොස් කොට නිදහස් වූවන් (9 දෙනෙකි): මොහොමඩ් සහීර් මොහොමඩ් හසන් (අබු ඩාවුඩ්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ්, රෂීඩ් මොහොමඩ් ඉබ්‍රාහිම්, සයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන්, මීරා සාහිබ් මොහොමඩ් නෆ්ලි, මොහොමඩ් අමීර් මොහොමඩ් අයාතුල්ලා, මොහොමඩ් අන්සාර්දීන් මොහොමඩ් ඉල්මි සහ මොහොමඩ් අක්‍රම් අහක්කම්.

  • අභාවප්‍රාප්ත වූ විත්තිකරු: යාසින් බාවා අබ්දුල් රවුෆ් නමැති විත්තිකරු නඩු විභාගය අතරතුර බන්ධනාගාර භාරයේ සිටියදී මියගොස් ඇත.

ඒ. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව සහ දඬුවම් නියම කිරීම සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here