ධවල මන්දිර නව මාධ්‍ය ලේකම් කේටි සකාරියා ධුරයෙන් ඉවත් කෙරේ

0
10

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ලෙස පත් කළ කේටි සකාරියා එම තනතුරෙන් ඉවත් කර ඇති බව ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ජනාධිපති ට්‍රම්ප් විසින් ඇයට මෙම රැකියාව පිළිබඳව නැවත සලකා බලන ලෙස උපදෙස් දීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. ධවල මන්දිරයෙන් පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙම තනතුර තුළ සතුටින් කටයුතු කිරීමට හැකිද යන්න පිළිබඳව ඇය නැවත සිතා බැලිය යුතු බව තමන් පැවසූ බවයි.
හිටපු මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් වෙනුවට පත් වූ කේටි සකාරියා පසුගිය සඳුදා දිනයේදී වැඩ භාරගෙන තිබූ අතර, ඇයගේ පළමු ධවල මන්දිර මාධ්‍ය හමුව පවත්වා තිබුණේ අඟහරුවාදා දිනයේදීය. ෆොක්ස් නිවුස් නාලිකාවද ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, ඇය මේ වන විට මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවයි.

මෙලෙස කෙටි කාලයකින් ඇයව ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඇයගේ නීති වෘත්තීය සුදුසුකම් පිළිබඳව මතුවූ ගැටලුකාරී තත්ත්වයයි. කැලිෆෝනියාවේ පෙපර්ඩයින් විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් උපාධිය ලබා ඇති සකාරියා, නීතිඥවරියක ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නීති වෘත්තීය සුදුසුකම් විභාගය (Bar Exam) සමත් වී නොමැති බවට පසුගිය සතියේදී තොරතුරු අනාවරණය විය.

ෆොක්ස් නිවුස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී තමන් එම විභාගය සමත් වී නොමැති බව ඇයද පිළිගෙන තිබේ. ජනාධිපති ට්‍රම්ප් ඇයගේ පත්වීම නිවේදනය කරන අවස්ථාවේදී ඇයව “නීතිඥවරියක” ලෙස හඳුන්වා දී තිබීම හේතුවෙන් මෙම කරුණ කෙරෙහි මාධ්‍යයේ විශේෂ අවධානයක් යොමුව තිබූ බවද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here