දිවයිනේ නායයෑම් කලාප රැසකට දැඩි අවදානමක් – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් (NBRO) විශේෂ දැනුම්දීමක්

0
2

පවතින අධික වර්ෂාපතන තත්ත්වයත් සමඟ දිවයිනේ නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ රැසක දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඒ.එල්.කේ. ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පවසයි.

පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පසුගිය දින කිහිපය තුළ නායයෑම්වලට ගොදුරු විය හැකි ප්‍රදේශ වෙත සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඒ හේතුවෙන් මාතලේ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මේ වන විටත් පළමු සහ දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනවලට අනුව ඉදිරි දිනවලදී මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇදහැලුණහොත් නායයෑම් ඇතිවීමේ සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ සහ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල පිහිටි ස්ථාන රැසක මෙම අවදානම දැඩි ලෙස පවතී.

මේ හේතුවෙන්, මීට පෙර සිදු වූ ආපදාවලින් හානියට පත්ව අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාව, හදිසි අවස්ථාවකදී වහාම සුරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට අවශ්‍ය සූදානමින් පසුවන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියි.

එමෙන්ම, කඳුකර මාර්ග ඔස්සේ ගමන් කරන රියදුරන් සහ පදිකයන් පස්කඳු කඩාවැටීම්, ගල්පෙරළීම් සහ මාර්ග ගිලාබැසීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා ප්‍රවේශමින් කටයුතු කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here