මේ දිනවල දිවයින තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශයේ ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම මහතා පවසයි.
පසුගිය සතියේ ලබාගත් සාම්පලවලින් 35%ක පමණ ප්රමාණයකට මෙම රෝගය තහවුරු වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, වර්තමානයේ බහුලව පැතිර යන කැස්ස, හෙම්බිරිස්සාව සහ උණ වැනි රෝග ලක්ෂණ බොහෝ දුරට ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් විය හැකි බව සඳහන් කරයි. කෙසේ වෙතත්, නිසි ප්රතිකාර සමඟ මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වන බැවින් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැතැයි හෙතෙම අවධාරණය කරයි.
එසේ වුවද, ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් මෙම තත්ත්වය හමුවේ වැඩි අවධානයකින් පසුවිය යුතු අතර, ඔවුන්ට යම් සංකූලතා මතුවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්යවරයා පෙන්වා දෙයි. රෝගය පැතිරීම වැළැක්වීම සඳහා නිතර සබන් යොදා දෑත් සෝදා ගැනීම, හොඳින් ජලය පානය කිරීම සහ උණ තත්ත්වයක් සඳහා පැරසිටමෝල් භාවිත කිරීම වැදගත් වන අතර, කැස්ස වැනි තත්ත්වයන් පවතී නම් වෛද්ය උපදෙස් ලබාගැනීමේ වැදගත්කමද හෙතෙම පෙන්වා දී ඇත.

